පුවත්
රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව - 2026.08.14



රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව, රත්නපුර දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ශාන්ත පද්මකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් හා රත්නපුර දිස්ත්‍රික් ලේකම් / දිසාපති, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ලේකම්, එම්.ජී. ලලිත් ආනන්ද මහතාගේ කැඳවීමෙන් අද (14) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම කමිටුවේදී “සබරගමුව සවිය ණය” යෝජනා ක්‍රමය පිළිබඳ විශේෂ පැහැදිලි කිරීමක් ලේකම්, ඉඩම්, පළාත් වාරිමාර්ග, කෘෂිකර්ම, සත්ත්ව නිෂ්පාදන හා සත්ත්ව සෞඛ්‍ය සහ ධීවර කටයුතු අමාත්‍යංශය (සබරගමුව පළාත) දර්ශන සමරසේකර මහතා විසින් සිදු කරන ලදී.
මෙම ණය යෝජනා ක්‍රමය සඳහා රුපියල් මිලියන 270 ක් වෙන් කර ඇති බවත්, අවමය රුපියල් 25,000 සේ සිට උපරිමය රුපියල් මිලියන 05 දක්වා කෘෂිකර්ම, සත්ත්ව නිෂ්පාදන, විසිතුරු මත්ස්‍ය, මිරිදිය ධීවර කර්මාන්ත ඇතුළු තවත් විවිධ ක්ෂේත්‍ර ගණනාවක් සඳහා ණය ලබා දීමට සැසුම් කර ඇති බවත් ඒ සඳහා 03% ක ඉතා අවම පොලියක් පමණක් අය කරන බවත් සමරසේකර මහතා පැවසීය. තවද ඒ සඳහා සබරගමුව පළාත් කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්ගේ අංක 01/2026 දරන චක්‍රලේඛය ද නිකුත් කර ඇත.
එමෙන්ම පෞද්ගලික ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක කිරීමට යෝජිත රත්නපුර, වෙරළුප ජල උද්‍යානය හා ජල ක්‍රීඩා හා විනෝදාස්වාදය සපයන මධ්‍යස්ථානය ඉදිකිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව ද මෙහිදී කමිටුව දැනුවත් කළ අතර ඒ සඳහා අදාළ අනෙකුත් රජයේ ආයතනවල අනුමැතියට යටත්ව එය ඉදිකිරීමේ සැලසුම සඳහා කමිටුවේ මූලික එකඟතාවය ලබා දෙන ලදී.
තවද, වේ ගඟ ආශ්‍රිතව සිදුවන නීති විරෝධී මැණික් ගැරීමේ කටයුතු වහාම නතර කිරීම සඳහා මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය හා ශ්‍රී ලංකා පොලීසිය එක්ව ඒකාබද්ධ වැටලීම් සිදු කිරීමටත් විශේෂයෙන් සැකකරුවන්ට දැඩි නීතිමය පියවර ගැනීමටත් තීරණය විය.
මීට අමතරව අධ්‍යාපන, ක්‍රීඩා, මහා මාර්ග, ගොවිජන සේවා, කෘෂිකර්ම, පරිසර, වනජීවී හා වන සංරක්ෂණ, සංචාරක ඇතුළු ක්ෂේත්‍ර රැසක සංවර්ධන කටයුතු පිළිබඳ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අවධානය යොමුවිය.
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව දිස්ත්‍රික් අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) එම්.කේ.එල්. ජයසිංහ මහතා ඇතුළු දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අංශය විසින් සංවිධානය කරන ලදී. මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් රාජපක්ෂ, වෛද්‍ය ජනක සේනාරත්න, නීතීඥ නිලූෂා ලක්මාලි, නීතීඥ හේෂා විතානගේ, රත්නපුර නගරාධිපති ඉන්ද්‍රජිත් කටුගම්පල යන මහත්ම මහත්මීන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් රැසක් ද සහභාගී වූහ.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව,
රත්නපුර.
Are you a Small or Medium-Scale Entrepreneur?
Are you ready to take your business to the next level and achieve greater growth?
🚀 If you are looking to identify new opportunities, improve productivity, strengthen competitiveness, and grow your business — join us today!
Your Vision → Your Goals → Your Success
We are ready to walk this journey with you!



සුපිළිපන් පා ගමන (රත්නපුර).



“සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්” උදෙසා ජාතික සුපිළිපන් සතිය ඊයේ දින එනම් 2026.07.27 දින ඇරඹුණු අතර එය මේ මස 31 වන දින දක්වා ක්‍රියාත්මක වේ.
ඒ අනුව සුපිළිපන් සතිය නිමිත්තෙන් පැවති රත්නපුර දිස්ත්‍රික් සුපිළිපන් පා ගමන අද (28) දින, රත්නපුර නවනගරයේ පිහිටි සබරගමුව පළාත් සභා සංකීර්ණය අසළින් ආරම්භකර රත්නපුර නව නගරයේ උසාවි හංදියෙන් අවසන්විය.
පා ගමන අවසානයේ අලංකාර වීදි නාට්‍ය දෙකක්ද රඟ දක්වන ලදී.
සුපිළිපන් පා ගමන සඳහා සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාරවර චම්පා ජානකී රාජරත්න මහත්මිය, සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් උපාලි ජයසේකර මහතා, රත්නපුර දිස්ත්‍රික් ලේකම් / දිසාපති එම්.ජී. ලලිත් ආනන්ද මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් 500 ක් පමණ එක්ව සිටියහ.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව,
රත්නපුර.
ජාතික සුපිළිපන් සතිය ඇරඹේ.



ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය සේවයේම ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාවය සහ පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීම මෙන්ම දූෂණයන්ගෙන් තොර ආදර්ශමත් පරිපාලන ව්‍යුහයක් ගොඩනැගීම වර්තමාන රජයේ ප්‍රමුඛතම අභිලාෂය වී ඇති අතර, මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා ක්‍රියාත්මක වන ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන හා ඒකාබද්ධ වෙමින් රාජ්‍ය සේවයේ ආචාරධර්මීය වටිනාකම් ශක්තිමත් කිරීම සුපිළිපන් සතියේ ප්‍රමුඛ අරමුණයි.
ඒ අනුව “සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්” උදෙසා ජාතික සුපිළිපන් සතිය අද දින එනම් 2026.07.27 දින සිට 31 වන දින දක්වා ක්‍රියාත්මක කරනු ලැබේ.
මෙය හුදෙක් එක් සතියකට පමණක් සීමා වූ සැමරුම් උත්සවයක් නොව, රාජ්‍ය සේවයේ පදනම ස්ථීරසාර ලෙස වෙනස් කරන කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් සඳහා වන ප්‍රවේශයකි.
පෞද්ගලික ලාභයන් නොතකා පොදු මහජන යහපතට නිරන්තරයෙන් ප්‍රමුඛතාවය දෙමින්, ආචාරධාර්මික වටිනාකම් සහ ප්‍රතිපත්තිමය ප්‍රමිතීන් සමඟ ඒකාබද්ධ වෙමින් කිසිවෙකු බලා නොසිටියද, කිසිදු අධීක්ෂණයකින් තොරව වුවද, තමා විසින්ම ස්වයං - පාලනයකින් යුතුව සිදු කරන නිවැරදි සහ සදාචාරාත්මක ක්‍රියාදාමයන් තුළින් ප්‍රියමනාප රාජ්‍ය සේවයක් සපයන නිලධාරියෙකු සුපිළිපන්න රාජ්‍ය සේවකයෙකු ලෙස හඳුන්වනු ලබයි.
සුපිළිපන් සතියේ ආරම්භක දිනය වන අද (27) දින දිවයින පුරා රාජ්‍ය ආයතනවල සුපිළිපන් දිවුරුම / ප්‍රතිඥාව කියවීම සිදු කරන ලදී.
ඒ අනුව රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේද, සුපිළිපන් සතිය ආරම්භ කරමින් සුපිළිපන් ප්‍රතිඥාව කියවීම රත්නපුර දිස්ත්‍රික් ලේකම් / දිසාපති එම්.ජී. ලලිත් ආනන්ද මහතාගේ ප්‍රධානත්වයෙන්, කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී අද (27) දින සිදුවිය. එමෙන්ම හෙට (28) දින සුපිළිපන් පා ගමන රත්නපුර නවනගරය ආශ්‍රිතව පැවැත්වීමට නියමිතය.දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව,
රත්නපුර.
School competition organized to celebrate International Access to Information Day - 2026
Land Use Committee of Ratnapura District Convenes



The Land Use Committee Meeting of the Ratnapura District was held today (18) at the Auditorium of the Ratnapura District Secretariat under the patronage of Mr. M.G. Lalith Ananda, District Secretary/Government Agent of Ratnapura.
During the meeting, attention was focused on resolving land-use-related issues within the district, promoting sustainable land management practices, and ensuring the effective utilization of land resources for future development initiatives.
The meeting was attended by Mr. Amila Wijerathne, Additional District Secretary; Mr. M.K.L. Jayasinghe, District Director (Planning); Mr. G.M. Sanath Padmakumara, Assistant Director of District Land Use; Divisional Secretaries of the district; and other officials.
District Media Unit,
District Secretariat / Department of Government Information,
Ratnapura.
රත්නපුර නව දිසාපති / දිස්ත්‍රික් ලේකම් ලෙස එම්.ජී. ලලිත් ආනන්ද මහතා රාජකාරී අරඹයි.




රත්නපුර නව, දිසාපති / දිස්ත්‍රික් ලේකම් ලෙස එම්.ජී. ලලිත් ආනන්ද මහතා (ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණිය) අද දින එනම් 2026.05.25 දින පෙරවරුවේ යෙදුණ සුභ මොහොතින් මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රාජකාරී කටයුතු ආරම්භ කළේය.
පරිපාලන ක්ෂේත්‍රයේ හසළ අත්දැකීම් සම්භාරයක් ඇති ඒ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු උපාධියද, ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය රුහුණු විශ්වවිද්‍යාලයෙන්ද, රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ඔස්ට්‍රෙලියාවේ ෆ්ලින්ඩර්ස් (Flinders University) විශ්වවිද්‍යාලයෙන්ද හදාරා ඇත. තවද කොළඹ මානව හිමිකම් ආයතනයෙන් මානව හිමිකම් පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවද ඒ මහතා සාර්ථකව හදාරා ඇත. 2000 වසරේ දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වූ ලලිත් ආනන්ද මහතා 2001 වසරේ සිට 2004 වසර දක්වා අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල හා දාමාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙසත්, 2004 සිට 2007 දක්වා මොනරාගල දිස්ත්‍රික්කයේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ලෙසත් ඉන්පසු ආරක්ෂක අමාත්‍යංශයේ සහකාර ලේකම්වරයෙකු ලෙසත්, ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයෙකු ලෙසත් රාජකාරී ඉටුකර ඇති ඒ මහතා මුදල් අමාත්‍යංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් / අධ්‍යක්ෂ ලෙසත් සේවය කර ඇත.
ඉන්පසු 2014 වසරේ සිට 2017 වසර දක්වා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ද, 2017 වසරේ සිට 2018 වසර දක්වා මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයෙකු ලෙසද සේවය කළ ඒ මහතා 2019 වසරේ සිට 2021 වසර දක්වා වව්නියාවේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ලෙසද රාජකාරී කටයුතු ඉටුකර ඇත. එමෙන්ම 2021 වසරේ සිට 2026 ජනවාරි දක්වා ඔස්ට්‍රෙලියාවේ සිටි කවුන්සිල්හි ආදායම් සේවා පරිපාලන නිලධාරීවරයෙකු ලෙසද සේවය කර ඇති ලලිත් ආනන්ද මහතා විවිධ ක්ෂේත්‍රයන්හි පරිපාලන කටයුතු පිළිබඳ ජාතික මෙන්ම ජාත්‍යන්තර අත්දැකීම් රාශියක් ඇති ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකි.
මෙම අවස්ථාවට රත්නපුර නව නගර ශ්‍රී සංඝරාජ විහාරාධිපති, රත්නපුර ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය දෙල්වල මුදිත ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් ගයානි අයි. කරුණාරත්න මහත්මිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් අමිල විජේරත්න මහතා, රත්නපුර ප්‍රාදේශීය ලේකම්වරු මෙන්ම රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය ද සහභාගී වූහ.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව,
රත්නපුර.
අභ්‍යන්තර කටයුතු ඒකකය
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහා අභ්‍යන්තර කටයුතු ඒකකයක්!
2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත ප්‍රකාරව ජනාධිපති ලේකම් කාර්‍යාලය සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එක්ව ආරම්භ කර ඇති, "සියලු රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීමේ නව වැඩපිළිවෙළ" හා සමගාමීව මේ වන විට අප අමාත්‍යාංශයේ අභ්‍යන්තර කටයුතු ඒකකයක් ස්ථාපිත කර ඇත.
ඒ අනුව අප අමාත්‍යාංශයේ යම් අක්‍රමිකතාවයක්, දූෂණයක් හෝ වංචාවක් ඔබ දැනුවත්ව සිදුවන්නේ නම් නාමිකව හෝ නිර්නාමිකව ඒ පිළිබඳව තොරතුරු/පැමිණිලි අප රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටුවා ඇති අභ්‍යන්තර කටයුතු ඒකකය වෙත පහත ක්‍රමවේදයක් ඔස්සේ දැනුම්දිය හැකිය.
රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ ස්ථානගත කොට ඇති පැමිණිලි පෙට්ටියට යොමු කිරීම
ඒකකයේ ප්‍රධානී
බී.ටී. ගයානි අයි. කරුණාරත්න මිය,
අතිරේක දිස්ත්‍රික් ලේකම්,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
රත්නපුර
සුපිළිපන්න නිලධාරී
බී.එච්.එස්. ධනවර්ධන මිය ,
සහකාර දිස්ත්‍රික් ලේකම්,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
රත්නපුර.
යන ලිපිනයට තැපැල් මාර්ගිකව යොමු කිරීම
* This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් තැපැල් ලිපිනය වෙත දැනුම් දීම
* 045 2222236 / 077 4745440 දුරකථන අංක වෙත දැනුම් දීම
* 077 4745440 අංකයට වට්ස්ඇප් මාර්ගිකව දැනුම් දීම
* QR කේතය ඔස්සේ දැනුම් දීම
තවද අප අමාත්‍යාංශ විෂය පථය යටතේ ඇති
> ශ්‍රී ලංකා රේගුව
> සුරාබදු දෙපාර්තමේන්තුව
> දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
> තක්සේරු දෙපාර්තමේන්තුව
> ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
> ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව
යන ආයතන වලද මේ වන විට අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවා ඇති බැවින් දැන් ඔබට එම ආයතනයන්ට අදාළ පැමිණිලි එකී ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක වෙත යොමු කිරීමට අවස්ථාව ලබා දී ඇත.
දූෂණයෙන් තොර සුපිළිපන්න රාජ්‍ය සේවයක් ඉටුකරලීම අපගේ අරමුණයි!
රත්නපුර දිස්ත්‍රික් ඒකාබද්ධ සංවර්ධන සැලැස්ම 2026 - 2030 එළිදැක්වේ.



ඉදිරි පස් වසරක කාලය තුළ රත්නපුර පරිපාලන දිස්ත්‍රික්කයේ සංවර්ධනය එක් අරමුණකින් සියලු පාර්ශවයන්ගේ ඒකාබද්ධතාවයයෙන් නිශ්චිත වූත්, වඩාත් ප්‍රතිඵලදායක වූත් ගමනක අරුඹුම සනිටුහන් කරමින් සකස් කරන ලද, 2026 – 2030 රත්නපුර දිස්ත්‍රික් ඒකාබද්ධ සංවර්ධන සැලැස්ම 2026.04.06 වන දින එනම් වර්ෂ 2026 ක් වූ අප්‍රේල් මස 6 වන දින රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී නිල වශයෙන් එළිදක්වන ලදී.
මෙහි පළමු පිටපත්, රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා වෙත හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති, සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාරවර චම්පා ජානකී රාජරත්න මහත්මිය ඇතුළු පිරිස වෙත රත්නපුර දිස්ත්‍රික් ලේකම්/දිසාපති කේ.ජී.එස් නිශාන්ත මහතා විසින් පිළිගන්වන ලදී.
රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතාගේ හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති, සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාරවර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ මෙන්ම දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරියේ පූර්ණ අධීක්ෂණයෙන්, රත්නපුර දිස්ත්‍රික් ලේකම්/දිසාපති කේ.ජී.එස් නිශාන්ත මහතාගේ උපදෙස් පරිදි, රාජ්‍ය ආයතන, පළාත් රාජ්‍ය ආයතන මෙන්ම රාජ්‍ය නොවන ආයතන, රාජ්‍ය නොවන සංවිධාන හා මහජනතාව ඇතුළු සියලු පාර්ශවයන් සමඟ ඒකාබද්ධව මෙම සංවර්ධන සැලැස්ම සකසා ඇත.
පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුගතව කෘෂිකර්ම, වෙළඳ හා කර්මාන්ත, යටිතල පහසුකම්, මානව සම්පත් සංවර්ධනය, පරිසර කළමනාකරණය, සමාජ ආරක්ෂණය, සන්නිවේදන, තාක්ෂණ හා පර්යේෂණ මෙන්ම යහපාලනය යන මූලික අංශ 08 කෙරෙහි මෙම ඒකාබද්ධ සංවර්ධන සැලැස්ම තුළ ප්‍රමුඛ අවධානය යොමු කර ඇත.
එමෙන්ම දිස්ත්‍රික්කය තුළ මෙතෙක් ඉටු නොවූ විශේෂ සංවර්ධන වැඩසටහන් පිළිබඳ ජාතික මට්ටමේ අවධානය ලබා ගැනීම, අයවැයෙන් ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා විස්තරාත්මක වැඩපිළිවෙළක් සැකසීම, ආයතන අතර අන්තර් සම්බන්ධය හා ව්‍යාපෘති ද්වීකරණය වැලැක්වීම තුළින් සම්පත් නාස්තිය අවම කිරීම, සාර්ව හා ආංශික වශයෙන් පවතින ගැටළු, බාධාවන්, අනාගත දැක්ම, අපේක්ෂිත ඉලක්ක හා ඒවා වෙත ළඟා වීමේ උපායමාර්ග පිළිබඳ විභවතාවයන් හඳුනා ගැනීම, ජාතික මට්ටමේ අරමුණු හා රජයේ ප්‍රතිපත්තිමය තීරණ අනුව දිස්ත්‍රික් වැඩසටහන් දිශානත කිරීම මෙම සැලැස්මේ ප්‍රමුඛ අරමුණු වේ. එමෙන්ම මෙම සැලැස්ම තුළ දිස්ත්‍රික්කයේ සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි මූලික අංශ 08 යටතේ උප අංශ ගණනාවක්ද හඳුනාගෙන ඒවාද වර්ගීකරණය කර ඇත.
ග්‍රාමීය හා නාගරික සංවර්ධනය අතර පවතින විෂමතා අවම කිරීම, දිළිඳුබව සහ බහුමානීය දරිද්‍රතාවය තුරන් කිරීම, සමාජ සමානාත්මතාවය වර්ධනය කිරීම හා දිස්ත්‍රික්කයේ ජනතාව ජාතික සංවර්ධන ක්‍රියාවලියට සක්‍රීයව දායක කර ගැනීම, පරිසර සුරක්ෂිතතාවය, දේශගුණික වෙනස්වීම්වලට වඩාත් හොදින් ප්‍රතිචාර දැක්වීම සහ තිරසර සංවර්ධනය සුරක්ෂිත කිරීම යන කරුණු කෙරෙහිද මෙම සැලැස්ම තුළ සුවිශේෂී අවධානයක් යොමු කර ඇත. ඒ අනුව ඉදිරි පස්වසර තුළ මෙම ඒකාබද්ධ සංවර්ධන සැලැස්ම රත්නපුර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීම මගින් දිස්ත්‍රික්කයේ සමස්ත සංවර්ධනයේ ඵලදායි වෙනසක් අපේක්ෂා කරනු ලබයි.
මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් රාජපක්ෂ, වෛද්‍ය ජනක සේනාරත්න, උපුල් කිත්සිරි, වසන්ත පුෂ්ප කුමාර, නීතීඥ නිලූෂා ලක්මාලි, රත්නපුර නගරාධිපති ඉන්ද්‍රජිත් කටුගම්පල, සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ඊ.කේ.ඒ. සුනීතා යන මහත්ම මහත්මීන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව,
රත්නපුර.
උපුටා ගැනීම රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ෆේස්බුක් පිටුවෙන්
බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් "සුරකිමු ලංකා" ජාතික වැඩසටහන.



බලශක්තිය අරපිරිමැස්මෙන් පරිහරණය කිරීමට ජනතාව දිරිගැන්වීමේ අරමුණින් නිර්මාණය වූ "සුරකිමු ලංකා" ජාතික වැඩසටහන ඊයේ (29) දින නිල වශයෙන් ආරම්භවිය.
බලශක්ති ප්‍රභවයන් ප්‍රවේශම්කාරී ලෙස ආරක්ෂා කරගන්නා ප්‍රජාවක් බිහි කිරීම මෙහි මූලික අරමුණවේ.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට බලශක්ති සහ ඉන්ධන සැපයුමට එල්ල විය හැකි බාධා මෙන්ම ඉදිරියේදී ඇතිවිය හැකි "එල්නීනෝ" කාලගුණික තත්ත්වය පිළිබඳ අනාවැකි සැලකිල්ලට ගනිමින් රජය මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
රාජ්‍ය සම්පත් අතිශය අරපිරිමැස්මෙන් හා විනිවිදභාවයෙන් යුතුව පරිහරණය කිරීමේ දැඩි අවශ්‍යතාව රජය පෙන්වා දෙන අතර, ජාතික බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් මහජනතාව සෘජුව දායක කරවා ගැනීම මෙහි ප්‍රධාන අපේක්ෂාවයි.
"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" යන දැක්ම පෙරදැරිව ක්‍රියාත්මක වන Clean Sri Lanka වැඩසටහන යටතේ "සුරකිමු ලංකා - එකතු වෙමු - එළිය දෙමු" යන තේමාවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව,
රත්නපුර.
Online Registration for National Fuel Pass (Fuel Quota Management Systems)
Government to implement QR Code system for fuel distribution from 15th March 2026. Fuel will not be issued without a registered QR Code, according weekly fuel quotas per vehicle.
To register for a Fuel Pass, visit https://fuelpass.gov.lk/ and follow the registration process, after which a unique Fuel Pass in the form of a QR code will be displayed - which can be saved on a mobile device or printed to be produced at fuel outlets.
Ratnapura District Integrated Development Plan ( 2026 - 2030 )
78 වන නිදහස් සැමරුම - සබරගමුව පළාත් උළෙල




78 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව පවත්වන ලද සබරගමුව පළාත් නිදහස් උළෙල සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාරවර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (04) දින රත්නපුර මහනගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මෙම නිදහස් සැමරුම් උළෙල විචිත්‍රවත් සංස්කෘතිකාංගවලින් වර්ණවත් විය. මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ශාන්ත පද්මකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය ජනක සේනාරත්න, සුනිල් රාජපක්ෂ, රත්නපුර නගරාධිපති ඉන්ද්‍රජිත් කටුගම්පල, සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ඊ.කේ.ඒ. සුනීතා, රත්නපුර දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජී.එස්. නිශාන්ත යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව,
රත්නපුර.
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන “රටම එකට ජාතික මෙහෙයුම” වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික් මෙහෙයුම් සභාව ස්ථාපිත කිරීම



රටක් සතු වටිනාම සම්පත වන රටේ දරු පරපුර හා තරුණ පරපුර ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන භයානක ව්‍යවසනයක් ලෙස විෂ මත්ද්‍රව්‍ය ජාවාරම පෙන්වා දිය හැකිය. එමගින් රටක අනාගතය මුළුමනින්ම විනාශය කරා රැගෙන යාමේ බරපතළ අවධානමක් ද උද්ගත වේ. දේශීය හා ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ ජාලයන් මඟින් මෙහෙයවෙන මෙම ව්‍යවසනය පුළුල් ජාතික ප්‍රවේශයක් තුලින් මුලිනුපුටා දැමිය යුතු තීරණාත්මක මංසන්ධියකට රටක් වශයෙන් අපි පැමිණ සිටිමු.
ඉහත අරමුණ සාක්ෂාත් කර ගැනීම පිණිස මේ වන විට ජාතික මෙහෙයුම් සභාවක් ස්ථාපිත කර ඇති අතර ඊට සමගාමීව රත්නපුර දිස්ත්‍රික් මෙහෙයුම් සභාව අද (2026.01.27) දින, ගරු මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කරන ලදී. මෙම මෙහෙයුම් සභාව පිහිටුවීමේ සංවිධාන කටයුතු රත්නපුර දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජී.එස්. නිශාන්ත මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා තවත් ආයතන එක්ව සිදුකරන ලදී.
මෙම අවස්ථාවට ගෞරවණීය මහා සංඝරත්නය, අනෙකුත් ආගමික පූජකතුමන්ලා ඇතුළු සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාරවර චම්පා ජානකී රාජරත්න, රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජනක සේනාරත්න, නිලූෂා ලක්මාලි, උපුල් කිත්සිරි, රත්නපුර නගරාධිපති ඉන්ද්‍රජිත් කටුගම්පල, සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ඊ.කේ.ඒ. සුනීතා, රත්නපුර දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජී.එස්. නිශාන්ත, සබරගමුව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව,
රත්නපුර.
2026 නව වසරේ රාජකාරී ඇරඹීම



උදා වූ 2026 නව වසරට සමගාමීව රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යය මණ්ඩලය අද (01) දින නව වසරේ රාජකාරී ඇරඹූහ. මෙහිදී, මහා සංඝරත්නය විසින් සියලු කාර්ය මණ්ඩලයටත්, රට වැසියන්ටත්, ලෝක වාසීන්ටත් සෙත් පතා පිරිත් සජ්ඣායනා කරන ලදී. රත්නපුර දිස්ත්‍රික් ලේකම්/ දිසාපති කේ.ජී.එස්. නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් නව වසරේ රාජකාරී ඇරඹූ අතර මෙම අවස්ථාවට රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් ගයානි අයි. කරුණාරත්න, අතිරේක දිස්ත්‍රික් ලේකම් අමිල විජේරත්න, සහකාර දිස්ත්‍රික් ලේකම් බී.එච්.එස්. ධනවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනා එක්ව සිටියහ.
රත්නපුර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වීම.



රජයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාවට ලබා දීමේ අතරමැදි යාන්ත්‍රණය ලෙස රාජ්‍ය නිලධාරීන්ට පුළුල් වගකීමක් පැවරී තිබෙන බව ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (14) පෙරවරුවේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවති රත්නපුර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ මුලසුන හොබවමිනි. මෙම කමිටු රැස්වීම රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, රත්නපුර දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතාගේ හා රත්නපුර දිස්ත්‍රික් ලේකම්/දිසාපති, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ලේකම් කේ.ජී.එස්. නිශාන්ත මහතාගේ සංවිධායකත්වයෙන් පැවැත්විණි.
2025 වර්ෂය සඳහා රත්නපුර දිස්ත්‍රික්කය තුළ විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතන විසින් ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් මෙම මූල්‍ය වර්ෂයට වෙන් කළ ප්‍රතිපාදන නැවත භාණ්ඩාගාරයට හරවා නොයැවීමට වගබලා ගන්නා ලෙස මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා, එයින් අවශ්‍ය සංවර්ධනය සිදු නොවන අතරම, මුදල් නාස්තියක්ද සිදුවන බවත්, එකම ව්‍යාපෘතිය වෙනුවෙන් නැවත නැවත මුදල් වෙන් කිරිමට සිදු වීමෙන් නව ව්‍යාපෘති ආරම්භ කිරීමට නොහැකි තත්වයක් උද්ගත වන බවත් පෙන්වා දුන්නේය. පසුගිය කාලයේදී රජයේ ව්‍යාපෘති ලෙස ඉදිකිරීම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇතත්, එහි ශක්‍යතාව සහ නඩත්තුව සම්බන්ධයෙන් නිසි ඇගයුමක් සිදු නොකිරීම නිසා, එමගින් රජයට අමතර වැය බරක් එකතු වී ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
රත්නපුර දිස්ත්‍රික්කයේ ගංවතුර සහ නායයාම් උවදුර සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර, එහිදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දුන්නේ, රත්නපුර දිස්ත්‍රික්කය තුළ අවදානම් සහිත ප්‍රදේශවල පවුල් 15,000ක් පමණ ජීවත් වන අතර, අධි-අවදානම් කලාපවල පමණක් පවුල් 2763ක් ජීවත්වන බවයි. රත්නපුරට බලපාන ජලගැලීම් පාලනය සඳහා Dry Dam (වියළි බැමි) ව්‍යාපෘතියක් කළු ගඟේ හා එහි අතු ගංගාවක් වන වේ ගඟ යොදා ගනිමින් සිදු කිරීමට යෝජනා කර ඇතත්, ඒ සඳහා වන පූර්ණ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ. ඒ අනුව, රත්නපුර ගංවතුර උවදුර වැළැක්වීම සඳහා වඩාත් සුදුසු ව්‍යාපෘතියක් පිළිබඳව ශක්‍යතා අධ්‍යනයක් සිදු කිරීමට අවශ්‍ය මුදල් ලබන අයවැයෙන් වෙන් කර දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී එකඟතාව පළ කළේය.
රත්නපුර දිස්ත්‍රික්කය තුළ කාන්තා සහ ළමා අපරාධ රැසක් පසුගිය සමයේ වාර්තා වී ඇති අතර ඊට අදාළව ගෙන ඇති පියවරද ජනාධිපතිවරයා මෙහිදී විමසා සිටියේය. එහිදි පොලීසිය පෙන්වා දුන්නේ එම අනාරක්ෂිත දරුවන් හඳුනාගෙන ඔවුන් අධීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරින් සමඟ ඒකාබද්ධව මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවයි. එමෙන්ම, රත්නපුර දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය උවදුර පාලනයට ගෙන ඇති පියවරද ජනාධිපතිවරයා මෙහිදී විමසූ අතර, ඊට අදාළ මෙහෙයුම් දෛනිකව සිදු කරමින් යම් පාලනයක් සිදු කිරීමට මේ වන විට හැකියාව ලැබී තිබෙන බව පොලීසිය මෙහිදී පෙන්වා දුන්නේය.
දිස්ත්‍රික්කයේ පතල් කර්මාන්තය ආශ්‍රිත ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ අතර, මැණික් ගල්වල අගය එකතු කිරීමේ රසායනාගාරයක් සහිත වෙළෙඳ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳවද සාකච්ඡා විය. දැනට ඌණ උපයෝජනයක් සහිත ඉතා ඉහළ වාණිජ වටිනාකමින් යුත් රත්නපුර නගරය ආසන්නයේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් ඵලදායී ව්‍යාපෘති සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු විය.
මෙම අවස්ථාවට බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් යන මහත්ම මහත්මීහුද, රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, රත්නපුර මහ නගර සභාවේ නගරාධිපති කේ.ඒ.ඩී.ආර්. ඉන්ද්‍රජිත් කටුගම්පල, සබරගමු පළාත් ප්‍රධාන ලේකම් ඊ.කේ.ඒ. සුනීතා, රත්නපුර දිස්ත්‍රික් ලේකම්/දිසාපති කේ.ජී.එස්. නිශාන්ත යන මහත්වරු සහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරිහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
රත්නපුර, කල්තොට නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිකිරීම් ඇරඹේ.



රත්නපුර දිස්ත්‍රික්කයේ, කල්තොට නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිකිරීම් කටයුතු ඊයේ (2025.07.18) දින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී/දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ගරු ශාන්ත පද්මකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භවිය.
රුපියල් මිලියන 388.81 ක් පමණ වැය වෙතැයි අපේක්ෂිත මෙම ගොඩනැගිලි සංකීර්ණය මාස 15 ක පමණ කාලයකින් ඉදිකර අවසන් කිරීමට නියමිතය. නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා - සබරගමුව පළාත් සභාව) අධීක්ෂණය යටතේ S.D.S. කන්ස්ට්‍රක්ෂන් ආයතනය මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි.
මේ වනවිට කල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවත්වාගෙන යනු ලබන්නේ තාවකාලික ස්ථානයකය. මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදිකළ පසු එම ප්‍රදේශයේ මහජනතාවට මෙන්ම කාර්ය මණ්ඩලයටද ඉමහත් පහසුවක් වනු ඇත.
වර්ෂ 2018 ක් වූ අප්‍රේල් මස 07 වන දින බළංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක, ප්‍රාදේශීය ලේකම් උප කාර්යාලයක් ලෙස ආරම්භ වූ, කල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 2021 මාර්තු මස 02 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත්විය. මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වර්ග කිලෝමීටර් 94 (අනූ හතරකට) ආසන්න වපසරියකින් යුක්ත වේ. එමෙන්ම මෙම කොට්ඨාසයට අයත් වන ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව 12 කි. එම ග්‍රාම නිලධාරී වසම් නම් අංක 258 කල්තොට, අංක 258 B - මැදබැද්ද, අංක 258 C තංජන්තැන්න, අංක 258 F කූරගල, අංක 258 E නෙළුයාය, අංක 259 - උග්ගල් කල්තොට වම් ඉවුර වම, අංක 259 A උග්ගල් කල්තොට වම් ඉවුර දකුණ, අංක 260 A දියවින්න, අංක 260 B වැලිපතයාය, අංක 260 C මොලමුර, අංක 260 E කළුපේඩිගම, අංක 260 F කෝණ්ගහමංකඩ යන ග්‍රාම නිලධාරී වසම් වේ.
මෙම අවස්ථාවට ගෞරවණීය මහා සංඝරත්නය, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පුෂ්පකුමාර, රත්නපුර දිස්ත්‍රික් ලේකම්/දිසාපති කේ.ජී.එස්. නිශාන්ත, අතිරේක දිස්ත්‍රික් ලේකම් අමිල විජේරත්න, කල්තොට ප්‍රාදේශීය ලේකම් ජී.ජී. නිලන්ති වීරසූරිය යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
රත්නපුර දිස්ත්‍රික්කයේ තේ කර්මාන්තයේ නියැලෙන සියළු පාර්ශවකරුවන් සමග සාකච්ඡාවක්

රත්නපුර දිස්ත්‍රික්කයේ තේ කර්මාන්තයේ නියැලෙන කුඩා තේ වතු හිමියන්, තේ තවාන් කරුවන්, අමු තේ දලු එකතුකරන්නන් හා තේ කර්මාන්ත ශාලා හිමිකරුවන් අතර විශේෂ සාකච්ඡාවක් අද (16) දින රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය ගරු සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්විණි.
රත්නපුර දිස්ත්‍රික්කය රටේ සමස්ත තේ නිෂ්පාදනයෙන් සියයට විසිපහක (25) පමණ දායකත්වයක් ලබා දේ. රත්නපුර දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු හිමියන් 120,000 ක් පමණ සිටින අතර, අමු තේ දලු එකතු කරන්නන්ද 550 ක් පමණ සිටියි. එමෙන්ම සක්‍රීය තේ කර්මාන්ත ශාලා 93 ක්ද දිස්ත්‍රික්කයේ ස්ථාපිතව ඇත.
2030 වර්ෂය වනවිට රටේ සමස්ත තේ නිෂ්පාදනය නිමි තේ දලු කිලෝ මිලියන 400 ක් දක්වා ඉහළ නැංවීම රජයේ අරමුණයි. වර්තමානයේ වාර්ෂික තේ නිෂ්පාදනය නිමි තේ දලු කිලෝ මිලියන 262 ක් පමණ වන අතර එමගින් උපයන ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 1.49 ක් පමණ වේ. එය 2030 වනවිට ඩොලර් බිලියන 2.5 ක් දක්වා ඉහළ නැංවීම රජයේ අරමුණයි.
එමෙන්ම තේ වගාව සඳහා පොහොර සහනාධාරයක් ලබාදීම, තේ වගාව හා අනෙකුත් වැවිලි භෝග විවිධ රෝගවලින් ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂඥයින් ගෙන් සමන්විත රෝග මර්ධන බලකායක් පිහිටුවීම, කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතු හිමියන් පිළිබඳ දත්ත පද්ධතියක් සකස්කර එය නිරන්තරයෙන් යාවත්කාලීන කිරීම, තේ වගාවේ ගුණාත්මක බව තව තවත් ඉහළ නැංවීම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමුවිය.
මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජායටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ගරු සුන්දරලිංගම් ප්‍රදිප්, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගරු ජනක සේනාරත්න, රත්නපුර දිස්ත්‍රික් ලේකම්/දිසාපති කේ.ජී.එස් නිශාන්ත, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වැවිලි ප්‍රතිපත්ති සහ තේ සංවර්ධන ) තරංගි වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගීවූහ.
අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU) ස්ථාපිත කිරීම.

ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද 2025 පෙබරවාරි 18 දිනැති අංක PS/SB/Circular/2/2025 චක්‍රලේඛයට අනුව, රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU) විධිමත් ලෙස ස්ථාපිත කර ඇත.
චක්‍රලේඛ අංක PS/SB/Circular/2/2025
ඒකකයේ ප්‍රධානී
බී.ටී. ගයානි අයි. කරුණාරත්න මිය
අතිරේක දිස්ත්‍රික් ලේකම්,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
රත්නපුර
සුපිළිපන්න නිලධාරී
බී.එච්.එස්. ධනවර්ධන මිය
සහකාර දිස්ත්‍රික් ලේකම්,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
රත්නපුර.
පැමිණිලි ඉදිරිපත් කිරීම
රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සපයනු ලබන ඕනෑම නිලධාරියෙකු හෝ සේවාවක් පිළිබඳ පැමිණිලි මෙන්ම එහි සේවා සැපයීම වැඩිදියුණු කිරීම සඳහා යෝජනා පහත සඳහන් මාර්ග හරහා අභ්‍යන්තර කටයුතු ඒකකයට ඉදිරිපත් කළ හැකිය:
විද්‍යුත් ලිපිනය : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වට්ස්ඇප් : 0774745440
දුරකථන : 0452222236/0774745440
ලිපිනය : Internal Affairs Unit, District Secretariate, Ratnapura.
මැතිවරණ ආරවුල් කළමනාකරණය පිළිබඳ සහකාර තේරීම්භාර නිලධාරීන් හා පොලිස් නිලධාරීන් දැනුවත් කෙරේ.

මැතිවරණ ආරවුල් කළමනාකරණ මධ්‍යස්ථානවල ක්‍රිකාරීත්වය පිළිබඳ සහකාර තේරීම්භාර නිලධාරීන් හා පොලිස් නිලධාරීන් දැනුවත් කිරීම මැතිවරණ කොමිෂන් සභාව විසින් දිවයිනේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි මේ දිනවල සිදු කරනු ලබයි.
ඒ අනුව මෙම දීප ව්‍යාප්ත වැඩසටහනේ රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පැවැත්වූ වැඩසටහන අද (04) දින රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මේ සඳහා සහකාර තේරීම්භාර නිලධාරීන් මෙන්ම රත්නපුර, ඇඹිලිපිටිය, කෑගල්ල හා සීතාවකපුර පොලිස් කොට්ඨාසයන්හි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, පොලිස් අධිකාරීවරුන්, සහකාර පොලිස් අධිකාරීවරුන් මෙන්ම පොලිස් ස්ථානාධිපතිවරු සහභාගීවූහ.
මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී, දිස්ත්‍රික් ලේකම්/දිසාපති කේ.ජී.එස්. නිශාන්ත, අතිරේක මැතිවරණ කොමසාරිස් චින්තක කුලරත්න (මැතිවරණ කොමිෂන් සභාව), රත්නපුර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සුරංග අඹගහතැන්න, අතිරේක දිස්ත්‍රික් ලේකම් අමිල විජේරත්න, සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (මැතිවරණ) ආචාර්ය දිනේෂ් කරුණානායක, නියෝජ්‍ය පොලිස්පති (නීති දිසාව) රුවන් ගුණසේකර, කෑගල්ල සහකාර මැතිවරණ කොමසාරිස් සජිත් පී. කස්තුරිසිංහ යන මහත්ම මහත්මීන් මෙන්ම රත්නපුර සහ කෑගල්ල නියෝජ්‍ය පොලිස්පතිවරු ඇතුළු පිරිසක් එක්වූහ.
රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික උපද්‍රව (CBRN) ආපදා අවදානම් අවම කිරීම සම්බන්ධ රත්නපුර දිස්ත්‍රික් කමිටු සාකච්ඡාව.


රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික උපද්‍රව (CBRN) ආපදා අවදානම් අවම කිරීම සම්බන්ධ රත්නපුර දිස්ත්‍රික් කමිටු සාකච්ඡාව.
රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික උපද්‍රව (CBRN) ආපදා අවදානම් අවම කිරීම සම්බන්ධ රත්නපුර දිස්ත්‍රික් ආරම්භක කමිටු සාකච්ඡාව, රත්නපුර දිස්ත්‍රික් ලේකම්/දිසාපති කේ.ජී.එස්. නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී ඊයේ (25) දින පැවැත්විණි.
මෙහිදී, ජීව විද්‍යාත්මක, රසායනික, විකිරණශීලී ද්‍රව්‍ය භාවිතය, කළමණාකරණය කිරීම, පාලනය කිරීම පිළිබඳව නෛතික පසුබිමක් මත කටයුතු කරනු ලබන පාර්ශවකාර ආයතනයන්හි නියෝජිතයින් සමඟ මෙවැනි ආපදා අවදානම් අවම කිරීම සම්බන්ධව පවත්නා නෛතික පසුබිම, ආපදා පෙර සූදානම, දැනුවත්කිරීම, ක්ෂණික ප්‍රතිචාර දැක්වීම හා පර්යේෂණ සම්බන්ධව ඒ ඒ ආයතන තුල පවත්නා ධාරිතාවයන් හා තවදුරටත් සංවර්ධනය වියු යුතු ක්ෂේත්‍රයන් සම්බන්ධව සුවිශේෂී කතිකාවක් ගොඩනගා ගැනීම හා ඒ තුළින් එවැනි අවදානම් අවම කිරීම සඳහා අවශ්‍ය දිස්ත්‍රික් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය පදනම සකස් කෙරිණි.
මෙම වැඩසටහනේ සම්පත්දායකත්වය ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පුහුණු කිරීම් හා දැනුවත් කිරීමේ අංශය) ශාන් පතිරණ මහතා, සහකාර අධ්‍යක්ෂ (මාධ්‍ය) ජානක හඳුන් පතිරාජ මහතා විසින් ලබා දෙන ලදී.
ශ්‍රී ලංකා යුධ හමුදාව, පොලීසිය, විශේෂ කාර්ය බලකාය, සෞඛ්‍ය අංශය, කර්මාන්ත, පළාත් පාලන ආයතන, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් මෙහිදී අදහස් දක්වන ලදී.
මෙම අවස්ථාවට රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් ගයානි අයි. කරුණාරත්න, අතිරේක දිස්ත්‍රික් ලේකම් අමිල විජේරත්න, රත්නපුර නියෝජ්‍ය අධ්‍යක්ෂ (ආපදා) මුදිත මංජුල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගීවූහ.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය/ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව,
රත්නපුර.
ඩිජිටල් ක්‍රමය යටතේ රත්නපුර, ජාතික උප්පැන්න සහතිකය නිකුත් කිරීම ඇරඹේ.


රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති E - ජනගහන වැඩසටහන යටතේ ඩිජිටල් ක්‍රමයට ජාතික උප්පැන්න සහතික නිකුත් කිරීමේ සමාරම්භක වැඩසටහන අද (24) දින රත්නපුර දිස්ත්‍රික් ලේකම්/දිසාපති, අතිරේක රෙජිස්ට්‍රාර් ජනරාල් කේ.ජී.එස්. නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
2021 වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට 2025.02.26 දින දක්වා, රත්නපුර දිස්ත්‍රික්කයේ උපන් දරුවන්ට දිස්ත්‍රික්කයේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් මෙම ජාතික උප්පැන්න සහතිකය ලබා ගැනීමේ පහසුකම පවතී. ඉදිරියේදී මෙම සේවාව තව දුරටත් පුළුල් කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.
මෙම ඩිජිටල් ජාතික උප්පැන්න සහතිකය සම්ප්‍රදායික කඩදාසි සහතිකයට වඩා නවීන, සුරක්ෂිත ලේඛනයකි. මකා වෙනස් කළ නොහැකි ලෙස තොරතුරු දත්ත පද්ධතියේ ගබඩාවීම මගින් ව්‍යාජ ලේඛන සකස් කිරීම අවම වේ. එමෙන්ම විදේශ ගමන් හා නීතිමය කටයුතු සඳහා ජාත්‍යන්තරමය වශයෙන් භාවිතයට වඩාත් සුදුසු වන අතර සිංහල හා ඉංග්‍රීසි හෝ දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා මගින් සහතිකය ලබා ගැනීමට හැකිවීම තුළින් උප්පැන්න සහතික වෙනම පරිවර්තනයන් සිදු කිරීමට අවශ්‍ය නොවේ. තවද උප්පැන්න සහතිකයේ කවර හෝ සංශෝධනයක් සිදු කළ විට එම තොරතුරු දත්ත පද්ධතියේ යාවත්කාලීන වේ.
එමෙන්ම මෙම ඩිජිටල් ජාතික උප්පැන්නය රජයේ අනෙකුත් ආයතන සමඟ විශේෂයෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමණ දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, අධිකරණ අමාත්‍යංශය, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යංශය වැනි ආයතන සමඟ තොරතුරු හුවමාරු කර ගත හැකි ලෙස මනාව සම්බන්ධ කර ඇත.
අද (24) දින සංකේතාත්මකව රත්නපුර, දරු දැරියන් 40 දෙනෙකු වෙත ඩිජිටල් ජාතික උප්පැන්න සහතිකය ප්‍රදානය කරන ලදී. මෙම සහතිකයේ ප්‍රථම පිටපත නොමිලේ නිකුත් කරනු ලැබේ.
මෙම අවස්ථාවට රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් අමිල විජේරත්න, රත්නපුර ප්‍රාදේශීය ලේකම් ප්‍රදීපිකා ඩී. ඉලුක්කුඹුර, ඌව - සබරගමුව නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල් නිශ්ශංක විජේසිරි, රත්නපුර සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් නිල්මිණි යූ නවරත්න, සහකාර රේජිස්ට්‍රාර් ජනරාල් වරුන් වන එම්.ඒ.ජී. සෙව්වන්දි, ධම්මිකා රණසිංහ, රත්නපුර ඉඩම් හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් ධම්මිකා ලියනාරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය/ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව,
රත්නපුර.










