රත්නපුර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වීම.



රජයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාවට ලබා දීමේ අතරමැදි යාන්ත්‍රණය ලෙස රාජ්‍ය නිලධාරීන්ට පුළුල් වගකීමක් පැවරී තිබෙන බව ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (14) පෙරවරුවේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවති රත්නපුර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ මුලසුන හොබවමිනි. මෙම කමිටු රැස්වීම රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, රත්නපුර දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතාගේ හා රත්නපුර දිස්ත්‍රික් ලේකම්/දිසාපති, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ලේකම් කේ.ජී.එස්. නිශාන්ත මහතාගේ සංවිධායකත්වයෙන් පැවැත්විණි.
2025 වර්ෂය සඳහා රත්නපුර දිස්ත්‍රික්කය තුළ විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතන විසින් ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් මෙම මූල්‍ය වර්ෂයට වෙන් කළ ප්‍රතිපාදන නැවත භාණ්ඩාගාරයට හරවා නොයැවීමට වගබලා ගන්නා ලෙස මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා, එයින් අවශ්‍ය සංවර්ධනය සිදු නොවන අතරම, මුදල් නාස්තියක්ද සිදුවන බවත්, එකම ව්‍යාපෘතිය වෙනුවෙන් නැවත නැවත මුදල් වෙන් කිරිමට සිදු වීමෙන් නව ව්‍යාපෘති ආරම්භ කිරීමට නොහැකි තත්වයක් උද්ගත වන බවත් පෙන්වා දුන්නේය. පසුගිය කාලයේදී රජයේ ව්‍යාපෘති ලෙස ඉදිකිරීම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇතත්, එහි ශක්‍යතාව සහ නඩත්තුව සම්බන්ධයෙන් නිසි ඇගයුමක් සිදු නොකිරීම නිසා, එමගින් රජයට අමතර වැය බරක් එකතු වී ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
රත්නපුර දිස්ත්‍රික්කයේ ගංවතුර සහ නායයාම් උවදුර සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර, එහිදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දුන්නේ, රත්නපුර දිස්ත්‍රික්කය තුළ අවදානම් සහිත ප්‍රදේශවල පවුල් 15,000ක් පමණ ජීවත් වන අතර, අධි-අවදානම් කලාපවල පමණක් පවුල් 2763ක් ජීවත්වන බවයි. රත්නපුරට බලපාන ජලගැලීම් පාලනය සඳහා Dry Dam (වියළි බැමි) ව්‍යාපෘතියක් කළු ගඟේ හා එහි අතු ගංගාවක් වන වේ ගඟ යොදා ගනිමින් සිදු කිරීමට යෝජනා කර ඇතත්, ඒ සඳහා වන පූර්ණ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ. ඒ අනුව, රත්නපුර ගංවතුර උවදුර වැළැක්වීම සඳහා වඩාත් සුදුසු ව්‍යාපෘතියක් පිළිබඳව ශක්‍යතා අධ්‍යනයක් සිදු කිරීමට අවශ්‍ය මුදල් ලබන අයවැයෙන් වෙන් කර දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී එකඟතාව පළ කළේය.
රත්නපුර දිස්ත්‍රික්කය තුළ කාන්තා සහ ළමා අපරාධ රැසක් පසුගිය සමයේ වාර්තා වී ඇති අතර ඊට අදාළව ගෙන ඇති පියවරද ජනාධිපතිවරයා මෙහිදී විමසා සිටියේය. එහිදි පොලීසිය පෙන්වා දුන්නේ එම අනාරක්ෂිත දරුවන් හඳුනාගෙන ඔවුන් අධීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරින් සමඟ ඒකාබද්ධව මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවයි. එමෙන්ම, රත්නපුර දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය උවදුර පාලනයට ගෙන ඇති පියවරද ජනාධිපතිවරයා මෙහිදී විමසූ අතර, ඊට අදාළ මෙහෙයුම් දෛනිකව සිදු කරමින් යම් පාලනයක් සිදු කිරීමට මේ වන විට හැකියාව ලැබී තිබෙන බව පොලීසිය මෙහිදී පෙන්වා දුන්නේය.
දිස්ත්‍රික්කයේ පතල් කර්මාන්තය ආශ්‍රිත ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ අතර, මැණික් ගල්වල අගය එකතු කිරීමේ රසායනාගාරයක් සහිත වෙළෙඳ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳවද සාකච්ඡා විය. දැනට ඌණ උපයෝජනයක් සහිත ඉතා ඉහළ වාණිජ වටිනාකමින් යුත් රත්නපුර නගරය ආසන්නයේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් ඵලදායී ව්‍යාපෘති සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු විය.
මෙම අවස්ථාවට බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් යන මහත්ම මහත්මීහුද, රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, රත්නපුර මහ නගර සභාවේ නගරාධිපති කේ.ඒ.ඩී.ආර්. ඉන්ද්‍රජිත් කටුගම්පල, සබරගමු පළාත් ප්‍රධාන ලේකම් ඊ.කේ.ඒ. සුනීතා, රත්නපුර දිස්ත්‍රික් ලේකම්/දිසාපති කේ.ජී.එස්. නිශාන්ත යන මහත්වරු සහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරිහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.





