ජාතික සුපිළිපන් සතිය ඇරඹේ.



ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය සේවයේම ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාවය සහ පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීම මෙන්ම දූෂණයන්ගෙන් තොර ආදර්ශමත් පරිපාලන ව්‍යුහයක් ගොඩනැගීම වර්තමාන රජයේ ප්‍රමුඛතම අභිලාෂය වී ඇති අතර, මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා ක්‍රියාත්මක වන ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන හා ඒකාබද්ධ වෙමින් රාජ්‍ය සේවයේ ආචාරධර්මීය වටිනාකම් ශක්තිමත් කිරීම සුපිළිපන් සතියේ ප්රමුඛ අරමුණයි.
ඒ අනුව “සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්” උදෙසා ජාතික සුපිළිපන් සතිය අද දින එනම් 2026.07.27 දින සිට 31 වන දින දක්වා ක්‍රියාත්මක කරනු ලැබේ.
මෙය හුදෙක් එක් සතියකට පමණක් සීමා වූ සැමරුම් උත්සවයක් නොව, රාජ්‍ය සේවයේ පදනම ස්ථීරසාර ලෙස වෙනස් කරන කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් සඳහා වන ප්රවේශයකි.
පෞද්ගලික ලාභයන් නොතකා පොදු මහජන යහපතට නිරන්තරයෙන් ප්‍රමුඛතාවය දෙමින්, ආචාරධාර්මික වටිනාකම් සහ ප්‍රතිපත්තිමය ප්රමිතීන් සමඟ ඒකාබද්ධ වෙමින් කිසිවෙකු බලා නොසිටියද, කිසිදු අධීක්ෂණයකින් තොරව වුවද, තමා විසින්ම ස්වයං - පාලනයකින් යුතුව සිදු කරන නිවැරදි සහ සදාචාරාත්මක ක්‍රියාදාමයන් තුළින් ප්‍රියමනාප රාජ්‍ය සේවයක් සපයන නිලධාරියෙකු සුපිළිපන්න රාජ්‍ය සේවකයෙකු ලෙස හඳුන්වනු ලබයි.
සුපිළිපන් සතියේ ආරම්භක දිනය වන අද (27) දින දිවයින පුරා රාජ්‍ය ආයතනවල සුපිළිපන් දිවුරුම / ප්‍රතිඥාව කියවීම සිදු කරන ලදී.
ඒ අනුව රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේද, සුපිළිපන් සතිය ආරම්භ කරමින් සුපිළිපන් ප්‍රතිඥාව කියවීම රත්නපුර දිස්ත්‍රික් ලේකම් / දිසාපති එම්.ජී. ලලිත් ආනන්ද මහතාගේ ප්‍රධානත්වයෙන්, කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී අද (27) දින සිදුවිය. එමෙන්ම හෙට (28) දින සුපිළිපන් පා ගමන රත්නපුර නවනගරය ආශ්‍රිතව පැවැත්වීමට නියමිතය.දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව,
රත්නපුර.





