රත්නපුර දිස්ත්‍රික්කයේ තේ කර්මාන්තයේ නියැලෙන සියළු පාර්ශවකරුවන් සමග සාකච්ඡාවක්

රත්නපුර දිස්ත්‍රික්කයේ තේ කර්මාන්තයේ නියැලෙන කුඩා තේ වතු හිමියන්, තේ තවාන් කරුවන්, අමු තේ දලු එකතුකරන්නන් හා තේ කර්මාන්ත ශාලා හිමිකරුවන් අතර විශේෂ සාකච්ඡාවක් අද (16) දින රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය ගරු සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්විණි.
රත්නපුර දිස්ත්‍රික්කය රටේ සමස්ත තේ නිෂ්පාදනයෙන් සියයට විසිපහක (25) පමණ දායකත්වයක් ලබා දේ. රත්නපුර දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු හිමියන් 120,000 ක් පමණ සිටින අතර, අමු තේ දලු එකතු කරන්නන්ද 550 ක් පමණ සිටියි. එමෙන්ම සක්‍රීය තේ කර්මාන්ත ශාලා 93 ක්ද දිස්ත්‍රික්කයේ ස්ථාපිතව ඇත.
2030 වර්ෂය වනවිට රටේ සමස්ත තේ නිෂ්පාදනය නිමි තේ දලු කිලෝ මිලියන 400 ක් දක්වා ඉහළ නැංවීම රජයේ අරමුණයි. වර්තමානයේ වාර්ෂික තේ නිෂ්පාදනය නිමි තේ දලු කිලෝ මිලියන 262 ක් පමණ වන අතර එමගින් උපයන ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 1.49 ක් පමණ වේ. එය 2030 වනවිට ඩොලර් බිලියන 2.5 ක් දක්වා ඉහළ නැංවීම රජයේ අරමුණයි.
එමෙන්ම තේ වගාව සඳහා පොහොර සහනාධාරයක් ලබාදීම, තේ වගාව හා අනෙකුත් වැවිලි භෝග විවිධ රෝගවලින් ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂඥයින් ගෙන් සමන්විත රෝග මර්ධන බලකායක් පිහිටුවීම, කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතු හිමියන් පිළිබඳ දත්ත පද්ධතියක් සකස්කර එය නිරන්තරයෙන් යාවත්කාලීන කිරීම, තේ වගාවේ ගුණාත්මක බව තව තවත් ඉහළ නැංවීම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමුවිය.
මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජායටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ගරු සුන්දරලිංගම් ප්‍රදිප්, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගරු ජනක සේනාරත්න, රත්නපුර දිස්ත්‍රික් ලේකම්/දිසාපති කේ.ජී.එස් නිශාන්ත, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වැවිලි ප්‍රතිපත්ති සහ තේ සංවර්ධන ) තරංගි වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගීවූහ.





