රත්නපුර, කල්තොට නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිකිරීම් ඇරඹේ.

Kalthota_new_building Kalthota_new_building
Kalthota_new_buildingKalthota_new_building

රත්නපුර දිස්ත්‍රික්කයේ, කල්තොට නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිකිරීම් කටයුතු ඊයේ (2025.07.18) දින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී/දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ගරු ශාන්ත පද්මකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භවිය.

රුපියල් මිලියන 388.81 ක් පමණ වැය වෙතැයි අපේක්ෂිත මෙම ගොඩනැගිලි සංකීර්ණය මාස 15 ක පමණ කාලයකින් ඉදිකර අවසන් කිරීමට නියමිතය. නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා - සබරගමුව පළාත් සභාව) අධීක්ෂණය යටතේ S.D.S. කන්ස්ට්‍රක්ෂන් ආයතනය මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි.

මේ වනවිට කල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවත්වාගෙන යනු ලබන්නේ තාවකාලික ස්ථානයකය. මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදිකළ පසු එම ප්‍රදේශයේ මහජනතාවට මෙන්ම කාර්ය මණ්ඩලයටද ඉමහත් පහසුවක් වනු ඇත.

වර්ෂ 2018 ක් වූ අප්‍රේල් මස 07 වන දින බළංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක, ප්‍රාදේශීය ලේකම් උප කාර්යාලයක් ලෙස ආරම්භ වූ, කල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 2021 මාර්තු මස 02 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත්විය. මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වර්ග කිලෝමීටර් 94 (අනූ හතරකට) ආසන්න වපසරියකින් යුක්ත වේ. එමෙන්ම මෙම කොට්ඨාසයට අයත් වන ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව 12 කි. එම ග්‍රාම නිලධාරී වසම් නම් අංක 258 කල්තොට, අංක 258 B - මැදබැද්ද, අංක 258 C තංජන්තැන්න, අංක 258 F කූරගල, අංක 258 E නෙළුයාය, අංක 259 - උග්ගල් කල්තොට වම් ඉවුර වම, අංක 259 A උග්ගල් කල්තොට වම් ඉවුර දකුණ, අංක 260 A දියවින්න, අංක 260 B වැලිපතයාය, අංක 260 C මොලමුර, අංක 260 E කළුපේඩිගම, අංක 260 F කෝණ්ගහමංකඩ යන ග්‍රාම නිලධාරී වසම් වේ.

මෙම අවස්ථාවට ගෞරවණීය මහා සංඝරත්නය, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පුෂ්පකුමාර, රත්නපුර දිස්ත්‍රික් ලේකම්/දිසාපති කේ.ජී.එස්. නිශාන්ත, අතිරේක දිස්ත්‍රික් ලේකම් අමිල විජේරත්න, කල්තොට ප්‍රාදේශීය ලේකම් ජී.ජී. නිලන්ති වීරසූරිය යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

පුවත් සහ සිදුවීම්